
ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් කල්‍යාණී පුරවරයේ පිහිටා ඇති ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ මීට වසර 81කට ප්‍රථම එනම් 1931 වර්ෂයේ ආගමික පුනරුදය පරමාර්ථ කරගෙන ආරම්භ කරන ලද ශ්‍රී සුදර්ශන ධර්ම විද්‍යාලය රට දැය සමය සුරකින, දේශමාමක දරු පිරිසක් දැයට දායාද කර ඇත. ළමුන් 30ක් පමණ වූ සුළු පිරිසකින් අරඹන ලද මෙම ධර්ම විද්‍යාලයේ නිර්මාතෘවරයා වූයේ එවකට විහාරාධිපති ධූරය හෙබ වූ වීරඟුලේ ශ්‍රී සරණතිස්ස නා හිමියන්ය.
දශක හතරකටත් වැඩි කාලයක් දහම් පාසැලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවමින් දෑ හිතකාමි නායකයින් බිහි කරන්නට අවවාද අනුශාසනා කළ රාජකීය පණ්ඩිත බැලුම්මහර පඤ්ඤාතිස්ස නා හිමියන්ගේ සේවාවට උපහාරයක් ලෙස ශ්‍රී සුදර්ශන දහම් පාසැල වර්ෂ 2005 ජූනි මස 25 වන දින සිරි පඤ්ඤාතිස්ස ලෙසත් නව තෙමහල් ගොඩනැගිල්ල සිරි පඤ්ඤාතිස්ස ධර්ම ප්‍රාසාදය ලෙසත් නම් කරන ලදී. දහම් පාසැලේ වර්තමාන අභිවෘද්ධිය මුදුන් පමුණුවා ගැනීමට වත්මන් විහාරාධිපති , රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය මාකොළ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ දක්වන්නේ අප්‍රතිහත ධෛර්යයකි.
විවිධ බාධක ජය ගනිමින් දියත් කෙරුණු මෙම දහම් ඔරුව අද වන විට සිය ගමන් මගේ විවිධ කඩඉම් පසු කරමින් ජයග්‍රහණයේ හිනිපෙත්තටම ළගා වී ඇත. වර්තමානයේ අප ධර්ම විද්‍යාලයේ සිසු දැරියන් 1500කට අධික ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබයි. වර්තමාන විදුහල්පතිනි සුමනා ප්‍රේමදාස මැතිනිය ප්‍රමුඛ ඇදුරු මඩුල්ල මෙම ධර්ම විද්‍යාලීය කටයුතු සඳහා දෙනු ලබන මහඟු දායකත්වය මෙන්ම නායකත්වය ඉමහත්ය. විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ පූජ්‍ය ඉඳිපරපෙ ධම්මසිරි සහ පූජ්‍ය පොතුවිල චන්ද්‍රසිරි හිමිවරුන් සිහිකරනුයේ කෘතඥතා පූර්වකවය.
විෂය සමගාමී ක්‍රියාකාරකම්වල දී ද විහාරස්ථානය හා ධර්ම විද්‍යාලයීය සම්බන්ධතාව වැඩි දියුණු කරමින් කථික, විවාද, භක්ති ගීත ගායනා, චිත්‍ර ආදී බාහිර අංශයන්ගෙන් ද විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇත. එපමණක් නොව ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ තමන්ට ම ආවේණික වූ අනන්‍යතාව අත්පත් කරගෙන ඇති සිරි පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලය භෞතික සම්පත් අතින් ද පොහොසත්ය. දෙමාපියන් සිය දරුවන් දහම් පාසැලට එවීමෙන් අපේක්ෂා කරන්නේ දැනුමින් සපිරි උගත් දරුවෙකුටත් වඩා ගුණ යහපත්කම්වලින් හෙබි ආදර්ශමත් පුද්ගලයෙකු ඉන් බිහිවනු දැකීමයි. එහෙත් දරුවෙකු සර්ව සම්පූර්ණ වූ යහපත් අයෙකු කිරීමට දහම් පාසැලට පමණක් හැකියාවක් නැත. දරුවෙකුට හොඳම දහම් පාසැලත්, පාසලත්, සමාජයත් වන්නේ ඔහු ජීවත් වන නිවසත් දෙමාපියනුත්ය. ඉරිදා දිනයේ දී දරුවා දහම් පාසැලට ඇරලවීමත්, අවසන් වූ පසු රැගෙන යාමත් පමණක් ප්‍රමාණවත් යැයි සිතන දෙමාපියෝ දරුවාගේ චරිත සංවර්ධනයේ සියලු වගකීම් දහම් පාසැල මත පවරා නිදහස් වන්නට සිතති. එසේ කිරීමෙන් අපේක්ෂිත පරමාර්ථය සපුරා ගත නොහැකි බව බොහෝ අවස්ථාවල දී පෙනී ගොස් ඇත. මෙම යුතුකම් සහ වගකීම් මැනවින් වටහා ගෙන ඇති සිරි පඤ්ඤාතිස්ස ධර්ම විද්‍යාලීය සිසුන්ගේ දෙමාපියන්ගේ ක්‍රියාකාරී දායකත්වය ද දහම් පාසැලේ සහ එහි දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා බෙහෙවින් ඉහවල් වී ඇත.